විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් දිරිගැන්වීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘ස,රසවි දිරිය අභිමාන් 2026’ වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. අරලියගහ මන්දිරයේදී පැවති මෙම උත්සවයේදී විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 370 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂයක බැගින් මූල්‍ය ආධාර ලබා දීමට ජනාධිපති අරමුදල පියවර ගෙන තිබේ.

මෙහි පළමු අදියර යටතේ සිසුන් 236 දෙනෙකු සඳහා අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. ඕටිසම්, ඩිස්ලෙක්සියා වැනි විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඇතුළු සියලුම දරුවන්ට අධ්‍යාපන අවස්ථා අහිමි නොකර සමාන අයිතිවාසිකම් ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

විශ්වවිද්‍යාල තුළ මෙම සිසුන්ට අවශ්‍ය ප්‍රායෝගික පහසුකම් සැපයීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන් සතු වගකීම ඇය සිහිපත් කළාය. එමෙන්ම, සහායක තාක්ෂණයන් භාවිතයෙන් අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත්, පොදු ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි ලෙස සංවර්ධනය කිරීමටත් රජය පියවර ගනිමින් සිටී.

මෙම සිසුන් රටට බරක් නොව, තිරසාර සංවර්ධනයට දායක විය හැකි වටිනා මානව සම්පතක් බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. සෑම පුද්ගලයෙකුගේම වටිනාකම අගයන ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීම රජයේ අවසාන අරමුණ බවද ඇය පැවසුවාය.

මෙම අවස්ථාවට කතානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version