අනුරාධපුර, කටුකැලියාව විද්‍යාදීප විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සසිරු නිර්මාල් ප්‍රේමචන්ද්‍ර සහ රවිඳු නිම්නාත් ප්‍රේමචන්ද්‍ර යන නිවුන් සහෝදරයන් විසින් මෙම නවෝත්පාදනය සිදුකර ඇත. ඔවුන් විසින් නිර්මාණය කර ඇති මෙම රොබෝවරයා ඉංග්‍රීසි භාෂාවෙන් සංචාරක තොරතුරු ලබා දීමට සහ ප්‍රශ්නවලට පිළිතුරු දීමට හැකියාව ඇති අයෙකි.
රටට විදේශ විනිමය උපයා දෙන සංචාරක ක්ෂේත්රයේ පවතින මගපෙන්වන්නන්ගේ හිඟය සහ ඇතැම් ගැටලු විසඳීම මෙම නිර්මාණයේ මූලික අරමුණ බව සිසුන් පවසති. මෙම රොබෝවරයා නිර්මාණය කිරීම සඳහා ඔවුන් රස්බරි පයි (Raspberry Pi), ආර්ඩියුනෝ (Arduino) සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය වී ඇති අතර, එය සමස්ත ලංකා නවෝත්පාදන සහ රොබෝ තාක්ෂණ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ද සමත් විය. කිසිදු බාහිර පුහුණුවකින් තොරව අන්තර්ජාලය ඔස්සේ ලබාගත් දැනුමෙන් ඔවුන් මෙම නිර්මාණය සිදුකර තිබීම විශේෂත්වයකි.
මෙම දරුවන්ගේ පියා ගොවියෙකු වන අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සහ මෙම නවෝත්පාදනයන් වෙනුවෙන් දෙමාපියන් විශාල කැපවීමක් සිදුකර ඇත. විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය සහ විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු සහයෝගය මත මෙම ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව ඔවුහු කෘතඥපූර්වකව සිහිපත් කරති.
අනාගතයේදී තවදුරටත් මෙම තාක්ෂණය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන මෙම දක්ෂ සිසුන් දෙදෙනාට සහාය වීමට කැමති අයෙකු වෙතොත් ඔවුන්ගේ සහෝදරයා හරහා සම්බන්ධ විය හැකිය.
