ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී පැවති අභිමානවත් උත්සවයකදී නව නාවික නිලධාරීන් 34 දෙනෙකු අධිකාරියට පත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම පිරිස අතරට ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණික අංශයේ 39 වැනි බඳවා ගැනීමට අයත් නිලධාරීන් 09 දෙනෙකු සහ නාවික හා සාගරික විද්‍යාපීඨයේ 66 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් නිලධාරීන් 25 දෙනෙකු ඇතුළත් වේ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ නාවික හමුදාධිපතිවරයා විසින් පුහුණු කාලසීමාව තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරීන් වෙත සම්මාන සහ අසිපත් ප්‍රදානය කරන ලදී. මෙහිදී විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ නිලධාරීන් කිහිප දෙනෙකු විශේෂ ඇගයීමට ලක් විය.

සභාව ඇමතූ නාවික හමුදාධිපතිවරයා අවධාරණය කළේ, නාවික හමුදාවේ උතුම් සම්ප්‍රදායන් සහ මූලධර්ම සුරකිමින් විනයගරුක සහ වෘත්තීයභාවයෙන් යුත් නායකයන් ලෙස කටයුතු කිරීම නව නිලධාරීන්ගේ වගකීම බවයි. තරුණ පරපුරේ ශක්තිය අධ්‍යාපනය තුළ පවතින බව සිහිපත් කළ ඒ මහතා, රටේ අනාගතය සුරක්ෂිත කිරීමේ පදනම එය බව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු දිනේෂ් බංඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන් සහ ආරාධිත අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version