සහල් භාවිතය සම්බන්ධයෙන් මීට පෙර පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව, සහල් ආහාර පිණිස බත් ලෙස පමණක් භාවිත කළ යුතු බවට පැවති නීතිමය බාධාවන් ඉවත් කෙරෙනු ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘතියක දෙවන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. රටේ සහල් නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතීම සහ අතිරික්ත අස්වැන්න කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ජනාධිපතිවරයා පැවසීය.
මෙම නව පියවරත් සමඟ සහල් යොදාගෙන බියර්, වයින්, බිස්කට්, කේක් සහ සත්ත්ව ආහාර වැනි අතුරු නිෂ්පාදන සිදු කිරීමට අවස්ථාව උදාවේ. මෙලෙස සහල් විවිධාංගීකරණය කිරීම තුළින් ගොවීන්ගේ වී අස්වැන්න සඳහා තරගකාරී වෙළෙඳපොළක් සහ ඉහළ මිලක් නිර්මාණය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
ජපානය වැනි රටවල සහල් ආශ්රිත නිෂ්පාදන මගින් විශාල ආර්ථික ප්රතිලාභ ලබන ආකාරය පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ පර්යේෂණ මට්ටමින් නිපදවා ඇති සහල් ආශ්රිත නිෂ්පාදන කඩිනමින් වෙළෙඳපොළට හඳුන්වා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
