සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් බදුල්ල හෙද විද්‍යාලයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. අමාත්‍යවරයෙකු මෙම විද්‍යාලය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම සංචාරයේදී විද්‍යාලයේ දේශන ශාලා, ශිෂ්‍ය නේවාසිකාගාර, පුස්තකාලය සහ ප්‍රායෝගික පුහුණු ඒකක ඇතුළු සමස්ත පරිශ්‍රයම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. දේශන ශාලා නවීකරණය, වායුසමීකරණ පහසුකම් ලබාදීම, අබලන් නේවාසිකාගාර අලුත්වැඩියාව සහ සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම ඇතුළු අත්‍යවශ්‍ය කරුණු රැසක් විදුහල්පතිනිය විසින් අමාත්‍යවරයා වෙත පෙන්වා දෙන ලදී.

පවතින ගැටලු පිළිබඳව සිසුන් සහ පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, විද්‍යාලයේ ප්‍රමුඛ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 15ක මුදලක් වහාම ලබාදීමට අමාත්‍යවරයා පියවර ගත්තේය. මෙම වසර අවසන් වීමට පෙර අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරන ලෙස ඔහු පාලනාධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

ඌව පළාතේ ඇති එකම හෙද පුහුණු පාසල වන බදුල්ල හෙද විද්‍යාලය 1982 වසරේදී ආරම්භ කරන ලදී. වසර 41ක ඉතිහාසයක් ඇති මෙම ආයතනය හරහා මේ දක්වා හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල පිරිසක් පුහුණුව ලබා ඇති අතර, වර්තමානයේ සිසුන් 372ක් එහි අධ්‍යාපනය ලබයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version