නවසීලන්ත කණ්ඩායම හමුවේ එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ලැබූ දරුණු පරාජයත් සමඟ, එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ බ්‍රෙන්ඩන් මැකලම්ව එම තනතුරෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 තරගයට පෙර මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
මේ වන විට නව පුහුණුකරුවෙකු සොයා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, ඒ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් දස දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් සකස් කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් ගෝල්ඩ් සඳහන් කරයි.
එම ලැයිස්තුවේ පෙරමුණේම පසුවන්නේ හිටපු එංගලන්ත පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් ය. ඔහු දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.
බලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ ෆ්ලවර්ට සිය වත්මන් IPL වගකීම් රඳවා ගනිමින්ම එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකාරිත්වය භාර දීමට හැකි නව එකඟතාවක් ඇති කර ගැනීමටය. මීට පෙර 2009 සිට 2014 දක්වා කාලයේදී එංගලන්ත කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක දක්වා ඔසවා තැබීමට ෆ්ලවර් සමත් විය.
ඔහුගේ මඟපෙන්වීම යටතේ එංගලන්තය ඔස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේදී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය කිරීමට ද සමත් විය. මේ වන විට විවිධ විදෙස් ලීග් තරගාවලිවල සාර්ථක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ඔහු, ඉදිරියේදී පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියේදී ලන්ඩන් ස්පිරිට් කණ්ඩායම ද මෙහෙයවීමට නියමිතව ඇත.
