උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව මෑත කාලීන ඉතිහාසයේ සිදුකෙරෙන වඩාත්ම අනතුරුදායක ව්‍යවස්ථාමය අත්හදාබැලීමක් බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රජය මෙම පියවර සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් කරන කරුණු කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
මෙවැනි සංශෝධනයක් සිදු කරන්නේ නම් එය අනාගතයට බලපාන අයුරින් සිදුකළ යුතු බවත්, අතීතයට බලපාන ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ඇතැම් විනිසුරුවරුන්ට පමණක් අසාධාරණ වාසි හිමිවන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ක්‍රියාවලිය අධිකරණ ස්වාධීනත්වය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීමට හේතු විය හැකි බව ඔහුගේ අදහසයි.
මේ අතර, මෙම යෝජනාව සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය අධිකරණ සේවා සංගමය විසින් ද ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත. මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත එම සංගමය පැවැත්වූ රහස් ඡන්දයකදී මෙම තීරණයට එරෙහිව ඒකමතිකව අදහස් පළ වී තිබේ.
අධිකරණ සේවා සංගමයේ වැඩබලන සභාපති චාමර වික්‍රමනායක සහ ලේකම් සුරංග මුණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව යොමු කළ එම ලිපියේ පිටපත් අග්‍රාමාත්‍යවරිය, කතානායකවරයා සහ අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ද යොමු කර ඇත. රටේ නීති පද්ධතියට මැදිහත් වීමේ මෙවැනි ක්‍රියාවලීන්ට ප්‍රමුඛත්වය ලබා දීම පිළිබඳව ද විවිධ පාර්ශ්වයන්ගෙන් මේ වන විට ප්‍රශ්න මතු වෙමින් පවතී.
