මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිටුපස කිසියම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් පවතින්නේද යන්න පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. විමර්ශනවල ප්‍රගතිය මත ඉදිරියේදී ඒ පිළිබඳව නිශ්චිත කරුණු අනාවරණය කරගත හැකි වනු ඇති බවද ඔහු පැවසීය.

බන්ධනාගාර තුළ පවතින අධික තදබදය දීර්ඝ කාලයක සිට පවතින ගැටලුවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නඩු කටයුතු ප්‍රමාද වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතු වී ඇති බව අවධාරණය කළේය.

මේ අතර, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා තාවකාලික පියවරක් ලෙස මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය සහ ගාල්ල මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රය බන්ධනාගාර ලෙස භාවිත කිරීමට රජය තීරණය කර ඇත. කෙසේ වෙතත්, මෙය කෙටි කාලීන විසඳුමක් පමණක් බවත්, බන්ධනාගාර තදබදයට නිත්‍ය විසඳුම් ලැබුණු පසු එම ස්ථාන ඉවත් කරගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ ස්ථාන දෙක බන්ධනාගාර ලෙස නම් කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය දිනවල ගැසට් නිවේදන නිකුත් කරනු ලැබීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version