වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට සමගාමීව, නැගෙනහිර ආසියානු රටවල බෞද්ධ බැතිමතුන් ඉලක්ක කරගනිමින් ‘බුද්ධ වන්දනා’ නමින් නව සංචාරක පැකේජයක් පසුගියදා කොළඹදී එළිදක්වනු ලැබීය.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් සංචාරක ව්‍යාපාරය ග්‍රාමීය මට්ටමට ව්‍යාප්ත කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට නව ආර්ථික අවස්ථා උදාකර දීම අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, මෙම පැකේජය හරහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික ආකර්ෂණයන් වියට්නාම වෙළෙඳපොළ තුළ වඩාත් ශක්තිමත් කළ හැකි බවයි.

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ට්‍රින් ති ටම් මහත්මිය ද මෙම වැඩසටහන අගය කරමින් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් වනු ඇති බවට විශ්වාසය පළ කළාය.

දෙරට අතර සෘජු ගුවන් ගමන් සේවා ලබන අගෝස්තු 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. මෙම ගුවන් සේවා මගින් සංචාරක ක්ෂේත්‍රයට අමතරව දෙරට අතර වෙළෙඳ හා ජනතා සබඳතා ද වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version