අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්රතිලාභීන් ඉලක්ක කරගෙන සිදුවන නවතම මුදල් වංචාවක් පිළිබඳව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් ජනතාව දැනුවත් කර තිබේ.
දිවයිනේ විවිධ ප්රදේශවලින් වාර්තා වන පරිදි, නොදන්නා පුද්ගලයින් විසින් දුරකථන ඇමතුම් ලබාගෙන තමන් සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් ලෙස හඳුන්වා දෙමින් මෙම වංචාවන් සිදුකරයි. තොරතුරු යාවත්කාලීන කිරීමේ මුවාවෙන් හෝ වෙනත් විවිධ හේතු දක්වමින්, එම ඇමතුම් ලබාගන්නා පාර්ශ්වයන්ගෙන් මුදල් අය කර ගැනීමට මෙම පිරිස් උත්සාහ දරන බව මණ්ඩලය පවසයි.
මෙම ක්රියාවලිය සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් හෝ දැනුම්දීමකින් තොරව සිදුවන වංචනික ක්රියාවක් බව බලධාරීන් අවධාරණය කරයි. අස්වැසුම ප්රතිලාභ ලබාගැනීම සඳහා කිසිදු අවස්ථාවක ප්රතිලාභීන්ගෙන් මුදල් අය නොකරන බවද ඔවුන් සිහිපත් කරයි.
එබැවින්, මෙවැනි සැකකටයුතු දුරකථන ඇමතුම් ලැබී ඇත්නම් වහාම අදාළ පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරන ලෙස මණ්ඩලය ඉල්ලා සිටී. තවද, තම බල ප්රදේශයේ සිටින ප්රතිලාභීන් මේ පිළිබඳව නිරන්තර අවධානයෙන් තබා ගැනීමට සහාය වන ලෙස ග්රාම නිලධාරීන්ගෙන්ද ඉල්ලීමක් කර ඇත.
