ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති 5 වන බිම්ස්ටෙක් (BIMSTEC) ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා සහභාගී විය.

එහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව අත්‍යවශ්‍ය බවයි. ත්‍රස්තවාදය, සයිබර් තර්ජන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මානව ජාවාරම් වැනි අභියෝග කිසිදු රටකට තනිව ජයගත නොහැකි බවත්, ඒ සඳහා සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

දකුණු සහ අග්නිදිග ආසියාව යා කරන පාලමක් ලෙස බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත්කම පැහැදිලි කළ ආරක්ෂක ලේකම්වරයා, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ ආපදා කළමනාකරණ කටයුතු සඳහා කලාපීය ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද සඳහන් කළේය.

භූගෝලීය සමීපත්වය උපායමාර්ගික සහයෝගීතාවයක් බවට පත් කරමින් වඩාත් ආරක්ෂිත සහ සමෘද්ධිමත් කලාපයක් ගොඩනැගීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම සමුළුවට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය යන රටවල ආරක්ෂක ප්‍රධානීන් ද එක්ව සිටියහ. 6 වන බිම්ස්ටෙක් ජාතික ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව ඉදිරි වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version