බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ හිමිකරු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේදී ඔහු දැඩි ශාරීරික හා මානසික පීඩනයකට ලක්වූ බව ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කොටුව මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා හමුවේ පෙන්වා දී තිබේ.

පසුගිය 16 වැනිදා රේගු පරීක්ෂණයක් සඳහා කැඳවීමක් මත ගිය සිය සේවාදායකයාට දින ගණනාවක් යනතුරු වතුර බිඳක් හෝ ලබා නොදී බලහත්කාරයෙන් වරද පිළිගැනීමට බලපෑම් කළ බව නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය. මෙම සිදුවීම හේතුවෙන් ඔහු රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට සිදුවූ බව නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර, රේගු නිලධාරීන් පිරිසක් බොරැල්ලේ පිහිටි එම ව්‍යාපාරික ස්ථානයට කඩා වැදී පරිගණක, මූල්‍ය ලේඛන සහ ජංගම දුරකථන ඇතුළු දේපළ සිය භාරයට ගෙන තිබුණි. පසුව අදාළ ව්‍යාපාරිකයා කොම්පඤ්ඤවීදිය පොලිස් භූමියේ නවතා තිබූ වාහනයක රඳවා සිටියදී නීතිඥවරුන්ගේ මැදිහත්වීමෙන් සොයාගැනීමට හැකි විය.

රේගු ආඥා පනත යටතේ නිශ්චිත චෝදනාවක් නොමැතිව සිය සේවාදායකයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පවසමින්, ඔහුව ඇප මත මුදා හරින ලෙස නීතිඥ මණ්ඩලය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, සාක්ෂි වසන් කිරීමට උත්සාහ කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ හැකියාව මත සැකකරු අත්අඩංගුවට ගත් බව රේගු පාර්ශ්වය අධිකරණයට දන්වා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව, සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් වන නියෝගය හෙට (22) පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version