ශ්‍රී ලංකා බාලිකා මගපෙන්වන්නියන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ජනාධිපති මගපෙන්වන්නියන්ගේ සම්මාන සහ අග්‍රාමාත්‍ය සම්මාන උළෙල පසුගියදා කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී දක්ෂතා දැක්වූ බාලිකාවන් වෙත සම්මාන සහ සහතිකපත් පිරිනැමීම සිදු කෙරිණි.
මෙවර උත්සවයේදී ජනාධිපති මගපෙන්වන්නියන්ගේ සම්මාන 338ක් සහ අග්‍රාමාත්‍ය සම්මාන 12ක් ඇතුළුව සම්මාන 350ක් පිරිනැමීම කැපී පෙනුණි. බාලිකාවන්ගේ විනය, කැපවීම සහ අඛණ්ඩතාව අගයමින් මෙම සම්මාන පිරිනැමීම සිදු විය.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, සැබෑ නායකත්වයක් යනු තනතුරු හෝ බලය මත තීරණය වන්නක් නොවන බවයි. අන් අය කෙරෙහි අනුකම්පාවෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම නායකත්වයේ සැබෑ ලක්ෂණය බව ඇය පෙන්වා දුන්නාය.
පසුගිය කාලයට සාපේක්ෂව අද වන විට කාන්තාවන් සහ දැරියන් සඳහා සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැඩි අවස්ථාවන් නිර්මාණය වී ඇති බව අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. රටේ අනාගත දියුණුව උදෙසා සමාජ වගකීමක් ඇති, සදාචාරාත්මක වටිනාකම්වලින් හෙබි තරුණ නායිකාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකා බාලිකා මගපෙන්වන්නියන්ගේ සංගමය විසින් පසුබිම හෝ හැකියාවන් නොසලකා සෑම දරුවෙකුටම සමාන අවස්ථා ලබා දීම අගය කළ අග්‍රාමාත්‍යවරිය, රටේ ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී එවැනි සංවිධානවල දායකත්වය ඉතා වැදගත් බව සඳහන් කළාය.
