හෝමාගම කර්මාන්ත පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදන කර්මාන්තශාලාවක අද (21) උදෑසන හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ගින්න හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේදී සේවකයින් කිහිප දෙනෙකු කර්මාන්තශාලාවේ ඉහළ මහලේ සිට ඇති අතර, ඔවුන් බේරා ගැනීමට උත්සාහ කළද ගින්න වේගයෙන් පැතිර යාම හේතුවෙන් එය අසීරු වී තිබේ. සේවකයින් පිරිසක් කෑගසමින් උදව් ඉල්ලා සිටි අයුරු අසල සිටි පිරිස් දැක ඇත.

කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ, ගින්න නිවා දැමීමට සහ සිරවී සිටි පිරිස් බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත් බවයි. කෙසේ වෙතත්, ගින්න පැතිරී තිබූ ආකාරය සහ ගොඩනැගිල්ලේ ව්‍යුහයට සිදුවූ හානි හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල විය.

මියගිය අයගෙන් තිදෙනෙකුගේ සිරුරු සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති අතර අනෙක් දෙදෙනාගේ සිරුරු ද බරපතල ලෙස පිළිස්සී තිබූ බව ගිනි නිවීමේ නිලධාරීන් පවසයි. ගින්න ආරම්භ වූ ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර, මෙම බිහිසුණු සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු අමාත්‍යවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version