රටේ ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට ගමන් කරන පසුබිමක, තිරසාර සංවර්ධනයක් තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් සහ වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ කොළඹ පැවති CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව අමතමිනි.

වත්මන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණ සහ ජනතාවගේ කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍ය ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් ලෙස වර්ගීකරණයට ලක්ව ඇති බව අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. මෙම ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරමින් තරඟකාරී ආර්ථිකයක් ගොඩනැගීම වත්මන් අභියෝගය බව ඇය පෙන්වා දුන්නාය.

රාජ්‍ය ආයතනවල මූල්‍ය විනිවිදභාවය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, නියමිත කාලයට මූල්‍ය වාර්තා සහ විගණන වාර්තා ඉදිරිපත් නොකරන ආයතනවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අවධාරණය කළාය. රාජ්‍ය පරිපාලනය පුද්ගලික න්‍යායපත්‍ර මත නොව, දත්ත සහ සාක්ෂි පදනම් කරගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදුවිය යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදී CMA ශ්‍රී ලංකා ආයතනය විසින් රාජ්‍ය නිලධාරීන් සඳහා කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලා හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්ව 100ක් රජයට පිරිනැමීම ද සිදු විය. නව ලොවට ගැළපෙන උපායමාර්ගික චින්තනයෙන් යුතු වෘත්තිකයන් බිහි කිරීම සඳහා වෘත්තීය ආයතන ලබාදෙන දායකත්වය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය.

එමෙන්ම, රජය ක්‍රියාත්මක කරන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ සිසුන් සඳහා වෘත්තීය පුහුණු සහ ආයතනික පුහුණු අවස්ථා (Internship) ලබාදීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා පෞද්ගලික අංශයේ සහාය අපේක්ෂා කරන බවත් ඇය සඳහන් කළාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version