ශ්‍රී ලංකාව තුළ මුඛ පිළිකා රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් දිනකට පුද්ගලයින් තිදෙනෙකු පමණ මරණයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

පුවක් සහ දුම්කොළ භාවිතය මුඛ පිළිකා ඇති වීමට ප්‍රධානතම හේතුව බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. පිරිමි පාර්ශවය අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ග අතර මුඛ පිළිකා ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බවත්, කාන්තාවන් අතර එය අටවන ස්ථානයේ පවතින බවත් වෛද්‍යවරයා සඳහන් කරයි.

නූතන සමාජයේ බුලත් විට භාවිතය යම් පමණකින් අඩු වුවද, සීනි සහ දුම්කොළ අඩංගු ‘බාබුල්’ වැනි නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමත් සමඟ තරුණ පරපුර සහ පාසල් සිසුන් පවා මේවාට ඇබ්බැහි වීමේ අවදානමක් පවතින බව හෙතෙම අවධාරණය කළේය. පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා අතරද මෙම පුරුද්ද දක්නට ලැබීම කනගාටුදායක කරුණකි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දැහැත් වට්ටියෙන් දුම්කොළ සහ පුවක් ඉවත් කර, ඒ වෙනුවට කරාබු නැටි, සාදික්කා සහ කරඳමුංගු වැනි දෑ භාවිත කරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. ‘පුදන්නට මිස හපන්නට නොව’ යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක කරුණු පැහැදිලි කළ වෛද්‍යවරයා, විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ජනතාව දැනුවත් කිරීමට මහා සංඝරත්නයේ සහයෝගය අපේක්ෂා කරන බවද පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version