ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සහ වීදි සතුන්ගේ ගහනය විධිමත් ලෙස පාලනය කිරීම සඳහා නව ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් රාජධානියේ ප්රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන ‘Battersea’ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM – UK) නියෝජනය කරන විශේෂඥ පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම සාකච්ඡාවේදී, දැනට පවතින එන්නත්කරණ ක්‍රමවේදය වෙනුවට ‘No Dog Left Behind’ නමින් හඳුන්වා දෙන නවීන ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම විශේෂඥයෝ පෙන්වා දුන්හ. මෙමගින් කෙටි කාලයක් තුළ වැඩි සුනඛයන් සංඛ්‍යාවක් ආවරණය කරමින්, ජලභීතිකා එන්නත් සඳහා රජය වැය කරන අධික පිරිවැය අවම කරගත හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.
පවතින පශු වෛද්‍ය හිඟය මඟහරවා ගැනීම සඳහා පළාත් පාලන ආයතන හරහා පුහුණු කාර්ය මණ්ඩලයක් යොදවා ගැනීම සහ එන්නත්වල ගුණාත්මකභාවය මෙන්ම ශීතකරණ සැපයුම් දාමය (Cold chain) නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම ව්‍යාපෘතිය මුලින්ම බස්නාහිර පළාතෙන් ආරම්භ කර පසුව දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත්, එය ජාතික කර්තව්‍යයක් ලෙස මෙහෙයවීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටත් මෙහිදී යෝජනා විය.
සත්ත්ව සුබසාධනය සහ ජලභීතිකා රෝගය තුරන් කිරීම රජයේ ප්රමුඛ අරමුණක් බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, අදාළ අමාත්‍යාංශ සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එක්ව මෙම ජාතික සැලැස්ම සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහය ලබා දෙන බවට සහතික විය.
