අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා දරුවන්ට එල්ල විය හැකි සයිබර් තර්ජන, හිංසනයන් සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන අහිතකර කරුණු වලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි.
ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් ලෝකයේ ප්‍රතිලාභ අත්කර දෙන අතරම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු විය. ලොව බොහෝ රටවල සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් පැනවීමට දරන උත්සාහයන් සහ ඒවායේ සාර්ථකත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලුණි.
සමාජ මාධ්‍ය තහනම් කිරීම් වෙනුවට දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම, ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සහ අන්තර්ජාල වේදිකාවල වගවීම තහවුරු කිරීම වැනි බහුවිධ උපායමාර්ගවලින් සමන්විත ‘ස්මාර්ට් මිශ්‍රණයක්’ (Smart mix) ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
මෙම වැඩපිළිවෙළේ කොටසක් ලෙස පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම පිළිබඳ කෙටුම්පත් මාර්ගෝපදේශ මාලාවක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. ජාත්‍යන්තර රාමු සහ දේශීය අත්දැකීම් ඇසුරින් සකස් කර ඇති මෙම මාර්ගෝපදේශ, අනුමැතියෙන් පසු දිවයින පුරා පාසල් වෙත බෙදා දීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය එරංග වීරරත්න, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥයින් පිරිසක් එක්ව සිටියහ.
