ගිනි ආරක්ෂණ සහ ගොඩනැගිලි පරිසර ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (ICFIRE 2026) විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.
ඇම්බර් විද්‍යාගාරය සහ ගිනි ආරක්ෂණ ඉංජිනේරු සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය, තිරසාර ගොඩනැගිලි පරිසරයක් සඳහා ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය සහ පද්ධති දියුණු කිරීම යන තේමාව යටතේ ජූලි 22 සහ 23 යන දිනවල පැවැත්වේ.
වේගවත් නාගරීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ උස් ගොඩනැගිලි සහ කාර්මික යටිතල පහසුකම්වල මතුවන ගිනි අවදානම් අවම කර ගැනීම මෙම සම්මන්ත්‍රණයේ මූලික අරමුණයි. ඒ සඳහා ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන්, නගර සැලසුම්කරුවන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටිති.
මෙම අවස්ථාවට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියන් මෙන්ඩිස් මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, දේශීය හා ජාත්‍යන්තර විද්වතුන් රැසක් සිය අදහස් හා පර්යේෂණ ඉදිරිපත් කිරීමට නියමිතය.
ගොඩනැගිලි පරිසරයන්හි ගිනි ස්ථාවරත්වය පිළිබඳ කොළඹ ප්‍රකාශනය (2026) එළිදැක්වීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් වැඩිදියුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
