නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමේ අරමුණින් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් රැසක් සහභාගී වී සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ පොදු අරමුණ වෙනුවෙන් පක්ෂ භේදවලින් තොරව ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් කැපවිය යුතු බවයි. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කිරීමේ ඕනෑම උත්සාහයක් පරාජය කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සියලු දේශපාලන පක්ෂ මේ වන විට ඒකරාශී වී ඇති බවයි. ඉදිරියේදී සංඝරත්නය සහ නීතිඥ ප්‍රජාව සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත්, රටේ නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බවත් ඔහු පැවසීය.

මෙම හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, දිලිත් ජයවීර ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version