2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වන දින ආරම්භ වී සැප්තැම්බර් මස 05 වන දින දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර තිබේ. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී මෙවර විභාගය පැවැත්වීමට නියමිතය.
පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇත. ඒ අනුව, විදුහල්පතිවරුන් තම පාසලේ සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ කලාප අධ්‍යාපන කාර්යාලවලින් ලබාගත යුතු වේ.
පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් මගින් යොමු කිරීමට පියවර ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රවේශ පත්‍රවල යම් සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නම්, පාසල් අයදුම්කරුවන්ට විදුහල්පතිවරුන් හරහා ද, පෞද්ගලික අයදුම්කරුවන්ට තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කරමින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ද මාර්ගගතව එම කටයුතු සිදු කරගත හැකිය.
මෙම සංශෝධන කටයුතු සිදු කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව අගෝස්තු 03 වන දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වේ. එම කාලසීමාව නැවත කිසිසේත්ම දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
