පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ දත්තවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ වෙඩිතැබීම් 21ක් වාර්තා වී තිබේ. මෙම සිදුවීම්වලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 12කි.

පසුගිය 23 වන දින පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ දෙමටගොඩ සහ වත්තල ප්‍රදේශවලින් වෙඩිතැබීම් දෙකක් වාර්තා විය. වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවකදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගිය අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවට පොලිසිය සැක පළ කරයි. කෙසේ වෙතත්, වෙඩික්කරුගේ ඉලක්කය වැරදීමෙන් වෙනත් අයෙකුට වෙඩි වැදී තිබේ.

මෙම සිද්ධියට අදාළව වෙඩික්කරුවන්ට ආධාර අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත. වෙඩික්කරු පැමිණි මෝටර් රථය ජා-ඇල ප්‍රදේශයේ අතහැර දමා තිබියදී සොයා ගැනීමට පොලිසිය සමත් විය.

එමෙන්ම දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් තවත් පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදුකර තිබේ. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහු මීට පෙර සිදුවූ අපරාධයකට සම්බන්ධ අයෙකු බවට අනාවරණය වී ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් පහක් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version