මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය (NIID) ඩෙංගු රෝගීන් කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් ලෙස නම් කර ඇත. මෙම පිළිගැනීම හිමිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝහල මෙය වීම විශේෂත්වයකි.

මෙම නව තත්ත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා විසින් නව නාමපුවරුව නිරාවරණය කරන ලදී.

අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දශක ගණනාවක් පුරා ඩෙංගු රෝගීන්ගේ ජීවිත සුරැකීම වෙනුවෙන් මෙම ආයතනය ඉටුකළ සායනික සේවය, පර්යේෂණ සහ කැපවීම සඳහා ලැබුණු ජාත්‍යන්තර ඇගයීමක් මෙය බවයි. ඩෙංගු රෝගය යළිත් බරපතල මහජන සෞඛ්‍ය අභියෝගයක් වී ඇති මොහොතක මෙම පියවර අතිශයින් කාලෝචිත බවද ඔහු අවධාරණය කළේය.

මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට පමණක් නොව කලාපීය රටවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද ඩෙංගු කළමනාකරණය පිළිබඳ පුහුණුව හා පර්යේෂණ අවස්ථා මෙරටදීම ලබා ගැනීමට හැකියාව ලැබේ. දැනටමත් බංගලාදේශය, නේපාලය සහ භූතානය වැනි රටවලට අවශ්‍ය දැනුම ලබා දීමට ආයතනය කටයුතු කර ඇත.

2026 අප්‍රේල් මස සිට 2030 අප්‍රේල් දක්වා වසර හතරක කාලයක් සඳහා මෙම පිළිගැනීම හිමිව ඇති අතර, ඉදිරි කාලසීමාව තුළ රෝහල විසින් සපුරා ගත යුතු ඉලක්ක කිහිපයක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version