ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධ ස්නායු රෝග විද්‍යා ආයතනය (Institute of Neurology) නවීකරණය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැය කර ඇත.

මොළය, සුෂුම්නාව සහ ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝගී තත්ත්වයන් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා මෙම ආයතනය මගින් පුළුල් සේවාවක් සැපයෙයි. මෙහිදී ආයතනයේ 62 සහ 63 වාට්ටු සංකීර්ණයන් ද නිල වශයෙන් විවෘත වූ අතර, රෝගීන් සඳහා ඇඳන් 44ක පහසුකම් සහිතව කාන්තා හා පිරිමි වාට්ටු වෙන් කර ඇත.

මෙම අවස්ථාවට ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය විද්‍යා ජෝති විශේෂඥ වෛද්‍ය ජේ.බී. පීරිස් මහතා ද එක්ව සිටි අතර, අමාත්‍යවරයා විසින් එතුමාගේ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද සිදු විය. දීර්ඝ කාලයක් අඩපණව පැවති මෙම ආයතනයේ ප්‍රතිසංස්කරණ කටයුතු යළි ආරම්භ කර කඩිනමින් අවසන් කිරීමට පියවර ගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සෞඛ්‍ය කාර්ය සහායකයන් 1900ක් බඳවා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා විශාල අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. සුදුසුකම් මත පදනම්ව විනිවිදභාවයෙන් යුතුව මෙම බඳවා ගැනීම් සිදු කරන බව ද ඔහු අවධාරණය කළේය.

රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ආයෝජනය කරන බවත්, නවීන වෛද්‍ය උපකරණ සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හරහා ජනතාවට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version