රුසියානු සමූහාණ්ඩුවේ ජාතික ඉදිකිරීම්කරුවන්ගේ සංගමය නියෝජනය කරමින් ඉහළ මට්ටමේ ව්‍යාපාරික දූත පිරිසක් මෙරට සංචාරයක නිරත විය. ඇන්ටන් මොරොස් මහතාගේ නායකත්වයෙන් පැමිණි මෙම පිරිසට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සහ තාක්ෂණික විශේෂඥයින් 24 දෙනෙකු ඇතුළත් වේ.
මෙම පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා හමුවී ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. එහිදී යටිතල පහසුකම් සංවර්ධනය සහ ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
සංචාරක ක්ෂේත්‍රයේ හෝටල් සංවර්ධනය සහ යටිතල පහසුකම් සඳහා පවතින ආයෝජන හැකියාවන් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා රුසියානු නියෝජිතයින් දැනුවත් කළේය. ආයෝජන මණ්ඩලය සහ සංචාරක සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයින්ට ඇති අවස්ථා මෙහිදී පැහැදිලි කෙරිණි.
එමෙන්ම රුසියානු දූත පිරිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ආයෝජන මණ්ඩලය සමඟ ද සාකච්ඡා පවත්වා ඇත. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමේ මාර්ග ගවේෂණය කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබේ.
