ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී පැවැත්වෙන 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික කණ්ඩායම නිල වශයෙන් නම් කර ඇත. ක්‍රීඩා ඉසව් හතක් යටතේ මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි ක්‍රීඩකයින් 27 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඇතුළුව සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු තරග බිමට පිවිසෙති.
මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස (Chef de Mission) නිලුක කරුණාරත්න කටයුතු කරන අතර, කණ්ඩායම් කළමනාකරු ලෙස මොහොමඩ් රිෆාත් නම් කර තිබේ. කණ්ඩායමේ නායකත්වයේ වගකීම හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තා හිමිකරු පී. රුමේෂ් තරංග වෙත පැවරී ඇත.
සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය බර්මින්හැම් 2022 රිදී පදක්කම්ලාභී පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාරට හිමිව තිබේ. මලල ක්‍රීඩා අංශයෙන් වැඩිම නියෝජනයක් ලැබී ඇති අතර, පිහිනුම්, ජිම්නාස්ටික්, බර ඉසිලීම, බොක්සිං සහ ජූඩෝ යන අංශවලින් ද ශ්‍රී ලංකාව පදක්කම් බලාපොරොත්තු තබා ඇත.
ජිම්නාස්ටික් අංශයෙන් ශ්‍රී ලංකා-ඇමරිකානු ක්‍රීඩිකා ටියානා සුමනසේකර සහ පිහිනුම් අංශයෙන් මැතිව් අබේසිංහගේ මඟපෙන්වීම යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයින් මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙලේදී සිය උපරිම දක්ෂතා දැක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සූදානමින් සිටී.
