එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ලෙස කටයුතු කරන වෝල්කර් ටර්ක් මහතාගේ ධුර කාලය තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කර ඇත.

ඔහුගේ වත්මන් ධුර කාලය මේ වසරේ ඔක්තෝබර් 11 වන දින අවසන් වීමට නියමිතව තිබුණි. මෙම තීරණය සඳහා පැවති ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 144ක සහාය ඔහුට හිමිවූ අතර, රටවල් 10ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. තවත් රටවල් 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබුණි.

ඇමරිකාව, ඊශ්‍රායලය, රුසියාව සහ උතුරු කොරියාව ඇතුළු රටවල් කිහිපයක් මෙම නැවත පත්කිරීමට විරුද්ධත්වය පළ කර තිබීම කැපී පෙනේ. විශේෂයෙන්ම ගාසා තීරයේ සහ මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෝල්කර් ටර්ක් මහතා දැඩි ස්ථාවරයක සිටිමින් ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීම මෙම විරෝධයට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1993 වසරේදී මෙම තනතුර ස්ථාපිත කළ දා සිට, දෙවන වරටත් එම ධුරයේ කටයුතු කරන පළමු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ලෙස වෝල්කර් ටර්ක් මහතා ඉතිහාසයට එක්වනු ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version