පසුගිය වසර පහක කාලසීමාව තුළ මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ මියගිය රැඳවියන් සංඛ්‍යාව 1021ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.

මියගිය පිරිස අතරින් 552 දෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අය වන අතර, සෙසු 469 දෙනා දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් වේ. මියගිය රැඳවියන්ගෙන් 384 දෙනෙකු මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අය බව ද එම වාර්තාවේ සඳහන් වේ.

බන්ධනාගාරවල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් සැකකරුවන්ට ඇප ලබාගැනීමට නොහැකි වීම බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනට බන්ධනාගාරවල රඳවා ගත හැකි ධාරිතාව 10,375ක් වුවද, ඊට වඩා හතර ගුණයක පමණ පිරිසක් රඳවා සිටීම බරපතල ගැටලුවක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ අවශ්‍ය පහසුකම් ලබා දීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. මෙම පියවර හරහා බන්ධනාගාර තදබදය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තවද, ඇප නියම වී තිබියදීත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම සහ මුදල් නොමැති වීම වැනි හේතු මත රැඳවියන් 1431 දෙනෙකු තවමත් බන්ධනාගාර තුළ පසුවන බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version