ප්‍රේක්ෂකයන් අතර මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති “ආදරණීය තරුවක්” සිනමාපටය තිරගත වීමට සියල්ල සූදානම් කර තිබේ. ආදරය, අහිමිවීම් සහ ජීවිතයේ බලාපොරොත්තු පිළිබඳ සංවේදී කතා පුවතක් රැගත් මෙම සිනමා නිර්මාණය අගෝස්තු 06 වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට නැරඹිය හැකිය.
මෙය ප්‍රවීණ රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනය වන අතර, දිල්ශාන් අමරසිංහ මෙහි අධ්‍යක්ෂණයෙන් දායක වේ. තරුණ පරපුරේ සිහින සහ හැඟීම් මනාව කැටි කරමින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය සංගීතමය සිනමා අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන එයි.
සිනමාපටයේ ප්‍රධාන චරිත සඳහා සාරංග දිසාසේකර සහ ශනුද්‍රි ප්‍රියසාද් රංගනයෙන් දායක වන අතර, ඔවුන් සමඟ සංගීතා වීරරත්න, සනත් ගුණතිලක, රොෂාන් පිලපිටිය, ජීවන් කුමාරතුංග ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වෙති.
දුල්හාරි ඉලංගකෝන්ගේ තිර රචනයෙන් සහ විශ්වජිත් කරුණාරත්නගේ කැමරාකරණයෙන් හැඩගැන්වෙන මෙම සිනමාපටය, ආදරය පිළිබඳ වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දෙනු ඇතැයි නිෂ්පාදක මණ්ඩලය විශ්වාසය පළ කරයි.
