බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ ආපනශාලාවක් තුළදී එහි හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නවගමුව, රණාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.
ප්‍රහාරයෙන් පසු යතුරුපැදියකින් පලා යමින් සිටි සැකකරුවන් පිළිබඳව ලැබුණු තොරතුරු මත නවගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මොවුන් කොටුකරගෙන ඇත. සැකකරුවන් රණාල පොදු සුසාන භූමිය අසලදී යතුරුපැදිය නවතා පලා යමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු හමුදා සෙබළෙකු ද වන බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර, ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයට අදාළ හඬ පණිවිඩ කිහිපයක් ද හමුවී ඇත.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 55 හැවිරිදි මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ මහතාය. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙකු බවත්, මෙම ප්‍රහාරය ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
