කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් යානයකින් අද (26) දිවයිනට පැමිණි 40 හැවිරිදි සැකකරු සතුව තිබී මෙම දුම්වැටි තොගය සොයාගෙන තිබේ.
සැකකරු තමන් සතුව තිබූ ගමන් මලු දෙකක සඟවා මෙම දුම්වැටි කාටූන් 201ක් රැගෙන විත් ඇති අතර, එහි අඩංගු දුම්වැටි සංඛ්‍යාව 40,200කි. මෙහි සමස්ත වටිනාකම රුපියල් හැට ලක්ෂ තිස් දහසක් පමණ වෙතැයි රේගු නිලධාරීන් පවසයි.
ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ මෙම දුම්වැටි තොගය රැගෙන යාමට සැකකරු උත්සාහ දරා ඇත. කෙසේ වෙතත්, රේගු නිලධාරීන් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී මෙම නීතිවිරෝධී භාණ්ඩ තොගය හඳුනා ගැනීමට හැකි විය.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
