රට තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය හමුවේ, උණ රෝගය වැළඳී ඇති දරුවන් නිවසේ තබාගෙන ස්වයං ප්‍රතිකාර හෝ අත්බෙහෙත් කිරීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී. රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් දරුවන්ගේ ජීවිත බේරාගත හැකි බව විශේෂඥ වෛද්‍යවරු අවධාරණය කරති.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පෙන්වා දෙන්නේ, දැනටමත් තම රෝහලේ ඩෙංගු රෝගීන් 50ක් පමණ ප්‍රතිකාර ලබන බවත්, ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්ය. රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතුවිය හැකි බව ද ඔහු අනතුරු අඟවයි.

දුර බැහැර ප්‍රදේශවල සිටින දෙමාපියන් දරුවාගේ රෝගී තත්ත්වය පවතින විට ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත යොමු කරන ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටී. පැය 24කට වඩා වැඩි කාලයක් පවතින උණ රෝගයක් ඇත්නම් එය සුළු කොට තැකිය යුතු නොවන බවත්, වෛද්‍ය උපදෙස් මත පමණක් කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණවලින් බහුතරයක් කාන්තාවන් බවයි. ගම්පහ, කොළඹ, මාතර, නුවර සහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බව ද ඇය පවසයි.

වෛද්‍යවරයෙකු විසින් රුධිර පරීක්ෂණ සිදුකරන ලෙස උපදෙස් ලබා දෙන්නේ නම්, එම පරීක්ෂණ කඩිනමින් සිදුකර එදිනම වෛද්‍යවරයා වෙත වාර්තා පෙන්වීම අත්‍යවශ්‍ය වේ. ඩෙංගු රෝගය කලින් හඳුනා ගැනීමෙන් සංකූලතා අවම කරගෙන රෝගය සුව කරගත හැකි බව සෞඛ්‍ය අංශ නැවත නැවතත් සිහිපත් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version