අධ්‍යක්ෂ නිතේෂ් තිවාරි විසින් නිර්මාණය කරනු ලබන නවතම ‘රාමායණය’ චිත්‍රපටය පිළිබඳව සිනමා ලෝලීන් අතර ඇත්තේ දැඩි උනන්දුවකි. එහි සීතා දේවියගේ චරිතය සඳහා රංගන ශිල්පිනී සායි පල්ලවී තෝරාගැනීම සම්බන්ධයෙන් අසූව දශකයේ අතිශය ජනප්‍රිය වූ රාමායණ ටෙලි වෘත්තාන්තයේ සීතා චරිතයට පණ පෙවූ දීපිකා චිඛලියා සිය අදහස් පළ කර තිබේ.
විදෙස් මාධ්‍යයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ සායි පල්ලවී දක්ෂ රංගන ශිල්පිනියක් බවයි. කෙසේ වෙතත්, ඇය මෙම චරිතයට කොතෙක් දුරට සාධාරණයක් ඉටු කරන්නේද යන්න තීරණය කළ හැක්කේ චිත්‍රපටය නැරඹීමෙන් පසුව පමණක් බව ඇය වැඩිදුරටත් පවසා ඇත.
තම රංගන සමයේදී සීතා චරිතය සඳහා තෝරාගැනීමේදී එම කෘතියේ සඳහන් ශාරීරික ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ බව සිහිපත් කළ දීපිකා, නව චිත්‍රපටයේ රාවණා චරිතයට පණ පොවන යෂ් ද දක්ෂ රංගන ශිල්පියෙකු බව අවධාරණය කළාය.
පැරණි රාමායණ නිර්මාණය තවමත් ප්‍රේක්ෂක මතකයේ තදින් රැඳී පවතින බැවින් නව නිර්මාණයට එය විශාල අභියෝගයක් වනු ඇති බව ඇයගේ අදහසයි. කෙසේ වෙතත්, නව චිත්‍රපට කණ්ඩායම වෙත සිය සුබ පැතුම් එක් කරන බවත්, මෙම නිර්මාණය ප්‍රේක්ෂක අවධානය දිනාගනු ඇති බවත් ඇය විශ්වාසය පළ කළාය.
නිතේෂ් තිවාරිගේ මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ රාම ලෙස රන්බීර් කපූර් රංගනයෙන් දායක වන අතර, චිත්‍රපටය කොටස් දෙකකින් යුතුව ඉදිරි දීපාවලි සමයන්හිදී තිරගත කිරීමට සැලසුම් කර ඇත.
