ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය අර්බුදයකින් ගොඩ ඒමට උත්සාහ දරන පසුබිමක, විද්‍යුත් බැංකු මුදල් හුවමාරු (TT) ක්‍රමය අවභාවිත කරමින් සිදුකර ඇති දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. 2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ මෙලෙස ඇමරිකානු ඩොලර් මිලියන 750කට අධික මුදලක් භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් රටින් පිටතට යවා ඇත.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය වූ අතර, ඒ සඳහා සමාගම් 105ක් සහ බැංකු ගිණුම් 227ක් භාවිත කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. ව්‍යාජ ඉන්වොයිසි සහ ලේඛන ඉදිරිපත් කරමින් මෙම ගනුදෙනු සිදුකර ඇති අතර, ඇතැම් අවස්ථාවල මුදල් යැවුවද අදාළ භාණ්ඩ කිසිවක් මෙරටට ලැබී නොමැති බවද සඳහන් වේ.

මෙවැනි මූල්‍ය වංචාවන් වර්තමාන නීතිය යටතේ ‘සිවිල් වැරදි’ ලෙස පමණක් වර්ගීකරණය වී තිබීම බරපතල ගැටලුවක් බව නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පෙන්වා දෙයි. දැනට පවතින නීතිය අනුව වරදකරුවන්ට මහ බැංකුවේ දඩයකට පමණක් යටත් වීමට සිදුවන බැවින්, මෙම ක්‍රියාවන් අපරාධමය වරදක් ලෙස නිර්වචනය කිරීමට නව නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම වංචාවන් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව, මහ බැංකුව සහ පොලිසිය එක්ව ඒකාබද්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පිහිටුවීමට යෝජනා වී ඇත. මීට අමතරව, ආනයන පෙර ගෙවීම් සිදු කිරීමේදී ආනයනකරුවන් රේගුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් නව රෙගුලාසි ද හඳුන්වා දී තිබේ.

විදේශ විනිමය අර්බුදයකින් පසුව යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකයට මෙවැනි ජාවාරම් සෘජු බලපෑමක් එල්ල කරයි. මෙවැනි ක්‍රියා නිසා ඩොලරයට ඇති ඉල්ලුම කෘත්‍රිමව ඉහළ යන අතර, එය රුපියලේ අගය පහළ යාමට සහ උද්ධමනය ඉහළ යාමට හේතු විය හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version