ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නංවා, අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වා වර්ධනය කර ගැනීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම උදෙසා ‘සිලෝන් ටී විලේජ්’ (Ceylon Tea Village) ව්‍යාපෘතිය මේ වන විට වේගවත් කර ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය හුදෙක් ආරම්භයකට පමණක් සීමා නොකර, සංවිධානාත්මක මෙහෙයුමක් ලෙස ඉදිරියට ගෙන යාමට තීරණය කෙරිණි.

දැනට දිවයින පුරා ආරම්භ කර ඇති තේ ගම්මාන 144 සඳහා අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහ යටිතල පහසුකම් සැපයීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා මට්ටම් තුනකින් යුත් කමිටු පද්ධතියක් ස්ථාපිත කර ඇත. ජාතික මට්ටමේ මෙහෙයුම් කමිටුවක්, ප්‍රාදේශීය කමිටු සහ ගම්මාන මට්ටමේ කමිටු හරහා මෙම ව්‍යාපෘතියේ කටයුතු අධීක්ෂණය කෙරේ.

මෙම ව්‍යාපෘතියේ මූලික අදියර සාර්ථක කර ගැනීම සඳහා රුපියල් මිලියන 237ක අතිරේක මුදලක් වෙන් කර තිබේ. ඉන් රුපියල් මිලියන 68ක් ආදර්ශ තේ වගාවන් සඳහාත්, රුපියල් මිලියන 169ක් ප්‍රමිතියෙන් යුත් පැළ තවාන් සකස් කිරීම සඳහාත් යොදවනු ඇත.

සෑම තේ ගම්මානයකම ආදර්ශ වගාවක් සහ තේ තවානක් ස්ථාපිත කරමින් බිම් මට්ටමින්ම මෙම වැඩසටහන ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version