ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙරට ඉදිකරනු ලබන ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස, කෑගල්ලේ ‘නන්ද ග්‍රාමය’ සහ කළුතර ‘ජන අරුණ ග්‍රාමය’ යන නව ගම්මාන දෙක පසුගියදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම සමාරම්භක උත්සවයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා එක්ව සිටියහ. කෑගල්ලේ පැවති උත්සවයට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ද, කළුතර පැවති උත්සවයට සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය හරහා පවුල් 48කට නව නිවාස හිමිවූ අතර, 2017 වසරේ අත්සන් තැබූ ගිවිසුමකට අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25ක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් 600කට නිවාස ලබාදීම මෙහි අරමුණයි.

සෑම ආදර්ශ ගම්මානයක්ම නිවාස 24කින් සමන්විත වේ. දැනට දිස්ත්‍රික්ක 18ක මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර ඇති අතර, සමස්ත ව්‍යාපෘතියේ ප්‍රගතිය මේ වන විට 98.5%ක් ලෙස සටහන් වේ. ඉතිරි ගම්මාන පහ ද ඉතා කෙටි කාලයක් තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව බලධාරීහු පවසති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version