ඇමරිකා එක්සත් ජනපදයේ රුධිර සංචිතවල දරුණු පහත වැටීමක් වාර්තා වීමත් සමඟ එරට රතු කුරුස සංවිධානය විසින් ජාතික රුධිර හිඟයක් ප්‍රකාශයට පත් කර ඇත. පසුගිය වසර 150ක කාලය තුළ මෙවැනි තත්ත්වයක් උද්ගත වූ දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.

පසුගිය මාසය තුළ පමණක් එරට රුධිර සැපයුම සියයට 25කින් පහත වැටී ඇති බව රතු කුරුස සංවිධානය පවසයි. මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව ලෙස පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය සහ හටගෙන ඇති ලැව්ගිනි බලපා ඇත.

ග්‍රීෂ්ම සෘතුවේදී වාහන අනතුරු වැනි හදිසි අවස්ථා වැඩිවීම හේතුවෙන් රෝහල්වලට අවශ්‍ය රුධිර ප්‍රමාණය ඉහළ ගියද, පවතින අයහපත් කාලගුණය නිසා රුධිර පරිත්‍යාග කඳවුරු පැවැත්වීමට බාධා මතුව තිබේ. පරිත්‍යාග කරන රුධිරය දින 42ක් ඇතුළත භාවිත කළ යුතු බැවින්, දීර්ඝ කාලීනව විශාල සංචිත ගබඩා කර තබා ගැනීමට නොහැකි වීම ද ගැටලුවක් වී ඇත.

මේ වන විට ‘O+’ ඇතුළු සියලුම රුධිර කාණ්ඩ සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව සඳහන් වේ. හදිසි අවස්ථාවලදී ඕනෑම රෝගියෙකුට ලබා දිය හැකි විශ්වීය රුධිර කාණ්ඩයක් ලෙස ‘O’ රුධිර කාණ්ඩය සැලකෙන බැවින්, එම කාණ්ඩවලට පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version