ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැලිෆෝනියාවේ පිහිටි සිය ගොල්ෆ් ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතව තිබූ අවස්ථාවක, එම පරිශ්‍රය අසල සැකසහිත ලෙස හැසිරුණු පුද්ගලයෙකු ලොස් ඇන්ජලීස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 38 හැවිරිදි ජීනීන් ජෝන් ටේලේ නැමැති සැකකරු, ගොල්ෆ් පිටිය ආශ්‍රිතව ඡායාරූප සහ වීඩියෝ ලබාගනිමින් එහි ආරක්ෂක සැලසුම් නිරීක්ෂණය කරන ආකාරයෙන් හැසිරී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිවිල් ඇඳුමින් සැරසුණු ෆෙඩරල් නිලධාරීන් විසින් සැකකරු පිළිබඳ ලබාදුන් තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී පිස්තෝලයක් සහ උණ්ඩ රැගත් මැගසීනයක් සොයාගෙන ඇත. මීට අමතරව, ඔහු පැමිණි වාහනය පරීක්ෂා කිරීමේදී තවත් පිරවූ පිස්තෝලයක් සහ අතිරේක උණ්ඩ තොගයක් ද සොයාගෙන තිබේ.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරු වෙනත් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසියට අවශ්‍යව සිටින අයෙකු බවයි. අමෙරිකානු රහස් ඔත්තු සේවය ද එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

කෙසේ වෙතත්, මේ දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවත්, මහජනතාවට වහාම තර්ජනයක් නොමැති බවත් බලධාරීන් පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version