රටේ සංවර්ධනය සහ ජාතික සංහිඳියාව උදෙසා විවිධත්වය ශක්තියක් කරගන්නා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා තරුණ පරපුරෙන් ඉල්ලා සිටියි. ත්‍රිකුණාමලය ශාන්ත ජෝශප් විද්‍යාලයේ පැවති ජාතික ශිෂ්‍යභට බලකායේ අන්තර් පළාත් යොවුන් හුවමාරු වැඩසටහනේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සාමය යනු ගැටුම් නොමැති වීම පමණක් නොව, ප්‍රජාවන් අතර පවතින විශ්වාසය සහ අවබෝධය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ පවතින බහු සංස්කෘතික උරුමය සහජීවනයේ සංකේතයක් බවත්, එය ආරක්ෂා කරගනිමින් රටේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුර කැපවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රජය ක්‍රියාත්මක කරන ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන හුදෙක් පරිසරය පිරිසිදු කිරීමකට පමණක් සීමා නොවන බවත්, එය සදාචාරාත්මක සහ එක්සත් සමාජයක් ගොඩනැගීමේ දැක්මක් සහිත වැඩසටහනක් බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. යටිතල පහසුකම් සංවර්ධනයට සමානවම ජාතීන් අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සහජීවනය ගොඩනැගීම ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් බව ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඇතුළු ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂවරුන්, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශිෂ්‍යභට සිසුන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version