මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම (AML/CFT) සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාවට සිදුකරන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා මෙම ඇගයීම් ක්‍රියාවලිය අතිශය වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලු ආයතනවල සක්‍රීය දායකත්වය සහ මනා සම්බන්ධීකරණය අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.
FATF නිර්දේශ 40ක් සහ ඒවායේ සඵලදායීතාව ඇගයීමට ලක් කෙරෙන මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව 2023 වර්ෂයේ සිට සූදානම් වූ බව මහ බැංකු නිලධාරීහු පෙන්වා දුන්හ. ඉදිරි මාස කිහිපය තුළ මෙම නිර්දේශ විධිමත්ව ක්‍රියාවට නැංවීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට ලක් විය.
එමෙන්ම, මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන සූදු ක්‍රියාකාරකම් (Online Gambling) පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර සහ අපරාධයකින් උත්පාදිත දේපළ කළමනාකරණ අධිකාරිය පිහිටුවීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා, මහ බැංකු අධිපතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන්, නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.
