මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයට සිදු වූ දේපළ හානි තක්සේරු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව, හානි වූ ස්ථාන නිරීක්ෂණය කර ඒවා කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියමිතය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩබලන) ප්‍රසාද් හේමන්ත මහතා සඳහන් කළේ, මෙම සිද්ධියෙන් බන්ධනාගාරයේ පරිපාලන ගොඩනැගිලි කිහිපයකට දැඩි හානි සිදුව ඇති බවයි. විශේෂයෙන්ම පුනරුත්ථාපන අංශය, බන්ධනාගාර රෝහල, මුළුතැන්ගෙය, ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය සහ අමුත්තන් හමුවන ස්ථානය ඇතුළු ගොඩනැගිලි රැසක් ගින්නෙන් සහ ප්‍රහාරවලින් විනාශ වී ඇත.

සිරකරුවන් රඳවා සිටින වාට්ටුවලට හානියක් සිදු නොවූවද, පරිපාලන අංශයට සිදු වූ හානිය හේතුවෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. මීට පෙර 2020 වසරේදී ද මෙම ස්ථානවල ගැටුම් ඇති වූ අතර, ඉන්පසු අලුත්වැඩියා කළ ගොඩනැගිලි යළිත් වරක් මෙලෙස විනාශයට පත්ව තිබේ.

මේ අතර, මහර බන්ධනාගාරයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් තවත් කමිටුවක් පත් කර ඇති අතර, ඔවුන් මේ වන විටත් සිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version