සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරුන් කොළඹ අගරදගුරු මැදුරේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත විය.

රටේ අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පවතින කතිකාවත සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී කාදිනල් හිමිපාණන් දැනුවත් කෙරිණි. මෙම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සමාජගත වී ඇති සාවද්‍ය තොරතුරු නිවැරදි කිරීම සහ රජයේ ඉදිරි පියවර පැහැදිලි කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය තහවුරු කිරීම සහ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම උදෙසා රජය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරුන් මෙහිදී කරුණු පැහැදිලි කළහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, දූෂණ විරෝධී පනත සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. මහජන නියෝජිතයින්ගේ වත්කම් බැරකම් දැනගැනීමට ජනතාවට ඇති අයිතිය කිසිදු බාධාවකින් තොරව ආරක්ෂා කරන බවත්, රාජ්‍ය නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය සුරැකීම සඳහා පමණක් යම් යම් සංශෝධන සිදුකරන බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත පුළුල් ජනතා සංවාදයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version