කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද (07) පස්වරු 6.30ට වීදි සංචාරය කිරීමට නියමිතය. 1963 වසරේ ආරම්භ වූ මෙම පෙරහැර කොළඹ නගරයේ අඛණ්ඩව පැවැත්වෙන පැරණිතම පෙරහැර මංගල්‍යයන්ගෙන් එකක් ලෙස සැලකේ.
මෙවර පෙරහැර සඳහා උඩරට, පහතරට, සබරගමු ඇතුළු විවිධ නර්තන අංග 28ක් සහ අලි ඇතුන් 15ක් පමණ සහභාගී වීමට නියමිතය. විශේෂත්වය වන්නේ, බම්බලපිටිය කදිරේෂන් කෝවිල සමඟ සම්බන්ධීකරණයෙන් ඝණ දෙවි දේව ප්‍රතිමාව සහ වේල් කරත්තයද මෙවර පෙරහැරේ අංගයක් ලෙස එක්වීමයි.
පෙරහැර වාලුකාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී ගාලු පාර ඔස්සේ කොල්ලුපිටිය මංසන්ධිය සහ ලිබර්ටි වටරවුම හරහා ආර්.ඒ. ද මෙල් මාවත ඔස්සේ ගමන් කර නැවත විහාරස්ථානයට ළඟා වීමට නියමිතය. කිලෝමීටර් තුනක පමණ දුරක් මෙම පෙරහැර ගමන් කරනු ඇත.
පෙරහැර නැරඹීම සඳහා ගාලු පාර ආශ්‍රිතව විශේෂ නැරඹුම් වේදිකා සකස් කර ඇත. මහජනතාවගේ රථවාහන පහසුව සඳහා කොළඹ මහානාම විද්‍යාලයේ රථගාල සහ ආර්.ඒ. ද මෙල් මාවතේ බම්බලපිටිය ප්‍රදේශයේ එක් මංතීරුවක් වෙන් කර ඇති බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.
