යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට 12 වන පාබල සේනාංක මූලස්ථානයේදී රණවිරු සුබසාධක කඳවුරේ 10 වන අදියර ඊයේ (07) දින සාර්ථකව පැවැත්විණි. මියගිය, විශ්‍රාමික සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ විය.

මෙම වැඩසටහනට සමගාමීව පැවැති වෛද්‍ය සායනය හරහා රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ, දන්ත සායන, අක්ෂි සායන, චර්ම රෝග සායන සහ පෝෂණ උපදේශන සේවාවන් ලබා දීමට කටයුතු යොදා තිබුණි. මීට අමතරව කෘත්‍රිම පාද නඩත්තු සේවා ද මෙහිදී සිදු කෙරිණි.

වැඩසටහන අතරතුර ආබාධිත රණවිරුවන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සහ ඔවුන්ගේ ගමනාගමන පහසුව වෙනුවෙන් රෝද පුටු, කිහිලිකරු ඇතුළු අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ බෙදා දීම ද සිදු විය.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා සුබසාධන අධ්‍යක්ෂ මණ්ඩලය, රණසේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය, නීති සේවා අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු යුද හමුදාවේ විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් සහ රණවිරු සේවා අධිකාරියේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version