ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඩිජිටල් තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම සහ නවීන අධ්‍යාපනික ක්‍රමවේද හඳුන්වා දීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් පසුගියදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දීය රජයේ පාසල් අධ්‍යාපන හා සාක්ෂරතා දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් සංජේ කුමාර් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
අධ්‍යාපනය සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) භාවිතය, කෘත්‍රිම බුද්ධිය (AI) අධ්‍යාපන ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම සහ ගුරුවරුන්ගේ ඩිජිටල් කුසලතා වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමවේදයන් සමඟ ඩිජිටල් තාක්ෂණය නිසි ලෙස මුසු කරමින් ශක්තිමත් අධ්‍යාපනික පද්ධතියක් ගොඩනැගීම මෙහි මූලික අරමුණයි.
ඩිජිටල් අධ්‍යාපනය තුළ පවතින අභියෝග හඳුනා ගැනීම සහ උසස් තත්ත්වයේ අධ්‍යාපනික අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම වැඩසටහන සඳහා රජයේ අමාත්‍යාංශ කිහිපයක් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රවීණයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
