ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීන ලෝකයට ගැළපෙන පරිදි ප්‍රතිසංවිධානය කිරීම සහ එහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් උපදෙස් මත, තැපැල් සේවාව ලාභදායී ආයතනයක් බවට පත් කිරීමේ විභවතාවන් හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය. දැනට තැපැල් දෙපාර්තමේන්තුව මූල්‍ය සේවා, සාම්ප්‍රදායික තැපැල් කටයුතු සහ භාණ්ඩ බෙදාහැරීම යන අංශ ඔස්සේ සේවා සපයයි.

තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී. සත්කුමාර මහතා පෙන්වා දුන්නේ, භාණ්ඩ බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙළෙඳපොළ අවස්ථාවක් පවතින බවයි. එම සේවාවන් පුළුල් කිරීම සඳහා ව්‍යාපාරික තීරණ ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සහ කාර්ය මණ්ඩල දිරිගැන්වීම් වැනි ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, සාම්ප්‍රදායික තැපැල් සේවා ක්‍රමයෙන් අඩුවෙමින් පවතින පසුබිමක, ඊ-වාණිජ්‍යය (E-commerce) සහ අන්තර්ජාලය පදනම් කරගත් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු හරහා නව අවස්ථා උදාවී ඇති බවයි. මෙම නව ව්‍යාපාරික අවස්ථා කරා යොමු වීමට දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සහ කාර්ය මණ්ඩලය ප්‍රතිසංවිධානය කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම තුළින් ජාතික හා ජාත්‍යන්තර වෙළෙඳාම පුළුල් කිරීමට විශාල හැකියාවක් පවතින බවද මෙහිදී අවධාරණය කෙරිණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version