පිරිසිදු හා ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘අත්තම’ ජාතික පවිත්‍රතා වැඩසටහන පසුගියදා කොලොන්නාව ප්‍රදේශයේදී නිල වශයෙන් ආරම්භ විය. ප්‍රජා සහයෝගීතාවය සහ සාම්ප්‍රදායික ශ්‍රම හුවමාරු සංකල්පය යළි ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම වැඩසටහන යටතේ කොලොන්නාව, වැල්ලම්පිටිය සහ ඔරුගොඩවත්ත ප්‍රදේශ ආවරණය වන පරිදි පවිත්‍රතා කටයුතු රැසක් සිදු කෙරිණි. විශේෂයෙන්ම 143 බස් නැවතුම්පොළ අවට අවදානම් සහිත ගස් ඉවත් කිරීම, මජිඩ් මහල් නිවාස පරිශ්‍රය සහ ප්‍රදේශයේ කාණු පද්ධති පිරිසිදු කිරීම මෙහිදී ප්‍රමුඛත්වය ගත්තේය.
මෙම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සඳහන් කළේ, මෙය හුදු ශ්‍රමදානයකට එහා ගිය ජනතා සහභාගීත්වයෙන් යුත් ජාතික මෙහෙවරක් බවයි. ජාති, ආගම් හෝ පක්ෂ භේදයකින් තොරව රට ගොඩනැගීමට සියලු පාර්ශවයන් එක්විය යුතු බව ඔහු අවධාරණය කළේය.
ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන මෙම වැඩසටහන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ රටපුරා ක්‍රියාත්මක වේ. පොදු දේපල ආරක්ෂා කරමින් සහ ඌන උපයෝජිත පොදු පහසුකම් සංවර්ධනය කරමින් අනාගත පරපුර වෙනුවෙන් පිරිසිදු දේශයක් දායාද කිරීම මෙහි අපේක්ෂාවයි.
මෙම වැඩසටහන සඳහා කොලොන්නාව මහ නගර සභාවේ නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, පොලිස් නිලධාරීන්, යුධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.
