යේමනයේ හූති කැරලිකරුවන් විසින් බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම සිදුවීමෙන් නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයට ලක්වූ ‘තිහාමා’ නමැති මෙම නෞකාව ටැන්සානියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ එකකි. ඕමානයේ සලාලා වරායේ සිට ජිබුටි බලා ගමන් කරමින් තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මියගිය අය අතර පකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු සහ ඉන්දුනීසියානු ජාතිකයෙකු සිටින බව යේමන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රහාරයේ වගකීම හූති සංවිධානය විසින් මෙතෙක් නිල වශයෙන් භාරගෙන නොමැත. කෙසේ වෙතත්, පසුගිය කාලසීමාව පුරාම මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති ගැටුම්කාරී වාතාවරණය හමුවේ, ජාත්‍යන්තර නාවික මාර්ගවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.
ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වන සාගර ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අර්බුදවලට අමතරව, බාබ් අල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේ මෙවැනි සිදුවීම් වාර්තා වීම ගෝලීය නාවික ගමනාගමනයට සහ සැපයුම් දාමයට දැඩි තර්ජනයක් බවයි.
මේ අතර, යේමනයේ වෙරළබඩ නගර ඉලක්ක කරගනිමින් හූතිවරුන් විසින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව යේමන හමුදා ආරංචි මාර්ග තහවුරු කරයි. මෙම තත්ත්වය යේමනය තුළ නැවතත් සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානම ඉහළ නංවා ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.
