වී ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට සහනදායී මිලකට සහල් ලබාදීම අරමුණු කරගනිමින් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සාකච්ඡාවක නිරත විය.
මෙම සාකච්ඡාවේදී මෝල් හිමියන් මුහුණ දෙන බැංකු ණය ගැටලු සහ වී මිලදී ගැනීමේදී පවතින බාධාවන් පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කෙරිණි. දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා වී මිලදී ගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මෝල් හිමියන් මෙහිදී යෝජනා කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, වී කිලෝග්‍රෑමයක් රුපියල් 120ක අවම මිලකට මිලදී ගත යුතු බවයි. එමෙන්ම, හෙක්ටයාරයකට උපරිම වශයෙන් කිලෝග්‍රෑම් 4,000ක් මිලදී ගැනීමටත්, ඒ පිළිබඳ නිවැරදි වාර්තා පවත්වා ගැනීමටත් මෝල් හිමියන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගන්නා මුදල් සහල් විකිණීමෙන් පසු රජයට නැවත ගෙවිය යුතු වේ. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම මගින් වර්තමානයේ කර්මාන්තයෙන් ඉවත්ව සිටින බොහෝ මෝල් හිමියන්ට නැවත එම ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන කේ.ඩී. ලාල්කාන්ත සහ වසන්ත සමරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සහල් මෝල් හිමියන් පිරිසක් එක්ව සිටියහ.
