විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් නැවත විදෙස්ගත නොවී මෙරට තුළම රැඳී සිටිමින් සේවය කිරීමේ යහපත් ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මඩකලපුව, එරාවූර් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රෝහල් කාර්ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව වෛද්‍යවරුන් මෙරට රැඳී සිටීමේ ප්‍රතිශතය මේ වන විට 60% සිට 70% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය මඟහරවා ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව, විදෙස් පුහුණුව ලබා පැමිණෙන වෛද්‍යවරුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙමින් ඔවුන් මෙරට රඳවා ගැනීමටත්, දුෂ්කර ප්‍රදේශවල රෝහල්වල පවා සේවය කිරීමට ඔවුන් උනන්දු කරවීමටත් රජය අපේක්ෂා කරයි.

එරාවූර් රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. නව ගොඩනැගිලි පහසුකම් ලැබී තිබුණද, රෝහලට අවශ්‍ය මානව සම්පත් ලබාදීම ප්‍රමුඛ අභියෝගයක් බව අමාත්‍යවරයා පිළිගත්තේය. පවතින පුරප්පාඩු ලේඛනය යාවත්කාලීන කරමින් එම ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ සමස්ත රෝහල් පද්ධතියම විධිමත් කරමින් ජනතාවට උසස් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම රජයේ මූලික අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version